Beauty
තෙල් සහිත සමක් නම් . . . ඔබටත් මෙය ප්‍රශ්නයක්
සමේ ඇතිවන ගැටලු විවිධාකාරයි. බොහෝවිට මෙම ගැටලු නිසා ඔබ අසහනකාරී තත්ත්වයට පත්වීමට පුළුවනි. එහෙත් කළ යුත්තේ එය නොවෙයි. මෙහිදී වඩාත් වැදගත් වන්නේ මේ පිළිබඳ අවබෝධයකින් සහ දැනුවත් බවකින් යුතුව කටයුතු කිරීමයි. එවිට මෙම තත්ත්වය වළක්වා ගන්නට මෙන්ම ඒවාට විසඳුම් ලබා ගැන්මට ද අපට අසීරුවන්නේ නැහැ.
කුරුලෑ සහ ඇක්නි අද බොහෝ දෙනකු පීඩාවට පත් කරන ප්‍රශ්නයක් වෙලා. ඇත්තටම මෙය හොඳ කරගන්න බැරිද? මෙයට කළ යුත්තේ කුමක්ද? මෙය බොහෝවිට අසන ප්‍රශ්නයක්. මෙම තත්ත්වයන්ට සාර්ථකව ප්‍රතිකර්ම කළොත් සුවකරගැනීම අපහසු වන්නේ නෑ. නමුත් හරි විදිහට උපදෙස් පිළිපදින එකත් නිසි සත්කාර සහ නිසි ප්‍රතිකර්ම කරන එකත් හරිම වැදගත්. අනෙක් කරුණ නම් අප මුලින් කී ආකාරයට මේ ගැන අවබෝධයකින් යුතුව කටයුතු කිරීම වැදගත්. සමේ ඇක්නි කුරුලෑ වැනි දෙයක් ඇතිවූ විට බොහෝ දෙනකුට ඒ ගැන දැනුවත් බවක් නෑ.
කොහොමද මේ ඇක්නි ඇතිවෙන්නේ?
බොහෝවිට බාහිර පරිසරයට සම නිරාවරණය වෙනවා. එහිදී සම මතුපිට කුණු දූවිලි වගේම වෙනත් දූෂිත අපද්‍රව්‍යයන් පහසුවෙන් තැන්පත් වෙනවා. ඉන්පසුව සමේ ඇති ස්නේහස්රාවි ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය නිසා ශ්‍රාවය වන සීබම් තරලය හේතු කොට ගෙන සමේ තැන්පත් වු කුණු දූවිලි සමට තදින් කාවැදී පටලයක් හැටියට ක්‍රියාකරනවා.
ඔබට තිබෙන්නේ තෙල් සහිත සමක් නම් සමේ එම තෙල් ස්වභාවය නිසා සමේ තැන්පත් වන කුණු දුහුවිලි වගේ දේ වඩාත් තදින් සමට කා වැදෙන අතර මෙසේ කා වැදෙන කුණු දුහුවිලි සමේ සිදුරුවල සිරවීමෙන් එම සිදුරු අවහිර වී කුරුලෑ සහ ඇක්නි වශයෙන් පිටතට එයි.
මෙය තවදුරටත් පැහැදිලි කරනවා නම්?
සාමාන්‍ය සමක නඩ් අගය 5.5 , 6.00 ත් අතර වුවත් තෙල් සහිත සමක එම අගය නඩ් 5.7 , 6.8 දක්වා පරාසයක පවතියි. මෙම තත්ත්වය ඇක්නි සහ කුරුලෑ කාරක බැක්ටීරියාවල වර්ධනයට වඩාත්ම හිතකරයි. මෙන්න මේ නිසයි අප මුලින් සඳහන් කළ පරිසර සාධක තෙල් සහිත සමක කුරුලෑ සහ ඇක්නි ඇතිවීමේ අවදානම වැඩි කරන්නේ.
සම නිතර තෙල් සහිත දිලිසෙනසුලු ස්වභාවයකින් යුක්තවීම තෙල් සහිත සමක් තියෙන අයට ඇතිවන ප්‍රධාන ගැටලුවක්. මේ තත්ත්වය හුඟක් වෙලාවට කෙනකුගේ සාමාන්‍ය ජීවිතයට වුණත් අහිතකර බලපෑම් ගෙන දෙන්නට හේතුවක් වෙනවා. එය එසේ වුවත් ඔබ දන්නවාද සමේ තෙල් සහිත ස්වභාවය වියපත් වීමේ ලක්ෂණ පෙන්නුම් කරන බව. අප කලින් සඳහන් කර ඇති පරිදි සමේ පිහිටි ස්නේහ ස්රාවි ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය මඟින් බාහිර පරිසරයෙන් සමට වන ජල හානිය වළක්වා සමේ ජල තුල්‍යතාවය මනාව පවත්වා ගැනීමෙන් සමේ වයස්ගත බවේ ලක්ෂණ අඩුවෙන් දැක්වීමට හේතුවක් වෙනවා.
ඉතින් සමේ එම වාසිදායක ස්වභාවය තවදුරටත් රැකගෙන සමේ දිලිසෙනසුලු තෙල්මය ස්වභාවය ඉවත් කිරීමෙන් ඔබට තරුණ පෙනුමත් නිරෝගි බව පවත්වාගත හැකියි නේද?
කෙසේ වුවත් මේ සඳහා සුදුසු රූපලාවණ්‍ය නිෂ්පාදන මෙන්ම නිවැරැදි පිළිවෙත් අනුගමනය කළ යුතුමයි.
මේ සඳහා අනුගමනය කළයුතු උපදෙස් මොනවාද?
සමේ තෙල් සහිත ස්වභාවය ක්ෂණිකව අඩු කිරීමට සමහරවිට ඔබ විවිධ ආකාරයේ සබන් වර්ග භාවිතයට හුරු වී සිටිනවා වන්නට පුළුවන්. ඒවාද අහිතකර විය හැකියි.
සබන්වල නඩ් අගය 8 , 6 අතර ප්‍රබල ක්ෂාරිය පරාසයක පවතිනවා. මෙන්න මේ නිසා තෙල් දුවිලි ක්ෂණිකව සමෙන් ඉවත්වී ගියත් ඒ ආකාරයෙන් ඉවත්ව යන්නේ අනවශ්‍ය තෙල් කුණු දූවිලි විතරක්ම නෙවෙයි. සමේ ජල තුල්‍යතාව සමනයට අවශ්‍ය වන සීබම් තරලයක් තෙතමනයත් ඒ එක්කම ඉවත් වී යනවා. මේ ආකාරයට ක්‍රම ක්‍රමයෙන් තෙල් හා ජලය ඉවත්වීමත් සමඟම සමේ සෛල ශුන්‍ය වීමෙන් සිදුවන්නේ සම තුනීවීමයි. ඒ එක්කම සමේ රැලි ඇතිවී (Fine lines and wrinkles) අකලට මහලු පෙනුමක් ඇතිවනවා.
සමේ තෙල් හා එහි දිලිසෙනසුලු ඇලෙන ස්වභාවය ඉවත් කිරීම පාලනයක් යටතේ සිදුකළ යුතු සියුම් ක්‍රියාවලියක් වන්නේ එම නිසායි. මේ සඳහා අනුගමනය කළයුතු උපදෙස් අපි ඉදිරි සතිවලදී විමසා බලමු.
irahada.com
(under the courtesy of goodhousekeeping.lk web)